ලෝහිත පරීක්ෂණයක් - 01: I

All Rights Reserved 

මෙම බ්ලොග් අඩවියේ සඳහන් කිසිදු ලිපියක් උපුටා ගැනීම, පිටපත් කිරීම, අවසරයකින් තොරව වෙනත් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක පල කිරීම සපුරා තහනම් වේ. 


ලෝහිත පරීක්ෂණයක් 

"ලෝහිත", එය රුධිරය බඳු වූ තද රත් පැහැයට තවත් නමකි. විටෙක එයින් සංඛේතවත් වන්නේ අනර්ථකාරී කෲරත්වයයි. 

 මේ ගෙනහැර දක්වනුයේ ඒ ලෝහිත වර්ණ අපරාධ ලොවෙහි දිවි ගෙවන්නන්ගේ දෛනික දිවිය පිළිබඳ අධ්‍යනයකි. 



01. අපරාධ අධිපතිගේ සූදු සරදම - පළමු කොටස


මැදියම් රැය පසු වී තිබිණි. ඝන ඇතිරිල්ලක් බඳු වළා වියනක් ලන්ඩන් ආකාශය මත ඇතිරී තිබුණේ, එය දොම්නස්බර කළු පැහැයකින් වර්ණ ගන්වමිනි. 


එනමුත්, තාරකාවන්ගේ ආශිර්වාදයෙන් වියුක්තව වුව, ස්වයංජනිත ආලෝක කදම්බයන් විහිදවූ නවීන පහසුකම් නගරය පුරා පිළියෙල කර තිබේ. ලන්ඩනය එබඳුය. එය සිය කාර්මික විප්ලවය ඔස්සේ නොනවත්වා දිගින් දිගටම පරිණාමය වන්නේය. බිඳෙන් බිඳ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ගෑස් ලාම්පු පේළි විසින් රාත්‍රිය යන සංකල්පය නගර වාසීන්ගේ මනසින් මකා දමනු ලැබීය. 


අන්ධකාරයෙන් පලා යන පුරවරයක් : සියලු මනුෂ්‍යයන් විසින් පිළිගත යුතු වන ස්වභාවධර්මතාවයන්ගෙන් එය තමාවම වෙන් කරගනිමින් සිටින්නේ යැයි පවා යමෙකුට පැවසිය හැකිය. එසේය, නගරය තුළ, තැනින් තැන අස්වාභාවික දසුන් දක්නට ලැබෙන්නේය. 


තේම්ස් ගංගාව හරහා විහිදෙන වෙස්ට්මිනිස්ටර් පාලම මතින් තනි අශ්වයකු යොදන ලද සිව්සක රථයක් ශාන්ත ජේම්ස් උද්‍යානය දෙසට ගමන් කරමින් සිටියේය. මනාව හැඳ පැළඳගත් මහත්වරුන් දෙපළක් එහි අසුන්ගෙන සිටියහ. මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියන් වූ ඔවුහු තමාට පෙරටුව මහේශාක්‍ය ලීලාවෙන් නැගී සිටින බිග්බෙන් ඔරලෝසු කණුවෙහිත්, පාර්ලිමේන්තු ගෘහයන්ගේත් සිලුවටයන් වෙත අභිමානයෙන් නෙත්ලූහ. 


යථෝක්ත පාලම මතම, ඉතා කෘශව වැහැරී ගිය සිරුරැති පාදඩයෙක් පැකිළෙන දෙපයින් යුතුව ඉන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටියේය. 


එක් හෘදස්පන්දනයක කාල සීමාව තුළ, ද්වී පාර්ශ්වයන් එකිනෙකා පසුකොට ගමන් ගත්හ. ඔවුන් එකිනෙකාගේ දර්ශන පථයට ඇතුළු වූ නමුත්, දෙපාර්ශවයෙහිම කිසිවෙක් අනෙක් පාර්ශවය නොදුටූහ — මන්ද යත් ඔවුන් ජීවත් වූයේ එකිනෙකින් වෙන් වූ ලෝකයන් ද්විත්වයකය. 


එය පරස්පර විරෝධී ය : එකම නගරය තුළ ජීවන මාර්ග දෙකක් පැවතිණි. ඒ සෑම ජීවිතයටම එකම අගයක්, එකම වටිනාකමක් පැවතිය යුතු යැයි යමෙකු සිතනු ඇති නමුත්, ඒ පාර්ශ්වයන් දෙක අතර පැහැදිලි විෂමතාවයක් පැවතිණි. 


එය වනාහී පන්ති භේදයයි. එතුළදී, යමෙකුගේ මුළු මහත් ජීවිතයම ඒ තැනැත්තා උපත ලද සමාජ ස්ථරය මත තීරණය වන්නේය. 


අභිමානවත් බ්‍රිතාන්‍යය තුළ මේ විෂමතාවන් මුල් බැසගැනීමට තුඩු දුන් බීජය එය වූයේය. ආදි කාලයේ සිට පැවත ආ එබඳු සම්ප්‍රදායන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව, මේ දේශයෙහි සියලු පුරවැසියන්ගේ විඥානය තුළට කා වැදී එය මොට කරවා තිබිණි. 


එනමුත්, මේ ජුගුප්සාජනක සංස්ථාපිතය විනාශ කර දැමීමටත්, පන්ති ධූරාවලි ශීර්ෂයන්හි ලැග සිටින මාන්නක්කාර යක්ෂයන් වඳ කර දැමීමටත්, සැලසුම් සකස් කරන පිරිසක් එහි සිටියහ. 


කෘත්‍රිම ආලෝකයන්ගෙන් පවා පලවා හැරිය නොහැකි වූ අන්ධකාරය තුළ, කටුක දුක්ඛ සන්තාපයන්ගෙන් පීඩිත වූවන්ගේ අභියාචනයන් පිළිගන්නා වූත්, නෛතික සීමාවෙන් ඔබ්බෙහි වූ සෙවණැලි තුළ ක්‍රියාත්මක වන්නා වූත් එක්තරා අභිරහස් චරිතයක් විය. ඒ වනාහී, "අපරාධයන්හි අදිපති" ය. 


මේ චරිතයෙහි හදවත වූ තැනැත්තා— එනම්, "අපරාධ උපදේශක" විලියම් ජේම්ස් මොරියාටි —මේ අවස්ථාවෙහි සිය ලන්ඩන් නිවහනෙහි අධ්‍යනාගාරයට වී තම පොත් පත්වල නිමග්නව සිටියේය.


එක් ලාම්පුවකින් පමණක් ආලෝකමත් වූ අඳුරු කුටිය, යම් තරමකට රාත්‍රී ලන්ඩනයේ අණුවිශ්වයක්ම වූයේය. එය අභිමුව විවේකීව අසුන්ගෙන සිටි මේ මිනිසා වනාහී, නගරයේ සෑම අස්සක් මුල්ලක් පාසාම දෙනෙත යොමා, තමාට රිසි වූ පරිද්දෙන් මිනිසුන් මෙහෙයවන අන්දමේ පාලකයකු විය. 


ඔහුගේ ලෝහිත දෙනයන අසිපත් තලයක තැවරුණු රුධිර බිඳිත්තක් වැනිය. නියත රිද්මයකට අනුකූලව පිටුවෙන් පිටුව පෙරළන සුරත හැරුණු කොට, ඔහු මුළුමනින්ම නිශ්චලය. මේ ගතවන නිමේෂයේදී පවා ඔහු සිටිනුයේ දූෂිත රදළයන්ට දඬුවම් පමුණුවා ඔවුන්ගේ පාපයන් ලොවට හෙළි කරනු පිණිස උපාය මාර්ගයන් සැලසුම් කරමිනි. 


සිය ග්‍රන්ථයෙන් අඩ දුරක් ගිය තැන, විලියම් සෙමින් තම දෙනෙත පිරිමැද්දේ ය. එක්වරම කුටියෙහි ද්වාරයෙන් පිටත යමෙකු සිටින බව ඔහුට සංවේදනය විය. ඒ වහා, දොරට තට්ටු කරන හඬක් නැගිණි. 


"——ඇතුළට එන්න."


ඔහු පොත වසා පසෙකින් තබත්ම, දොර සෙමින් විවර වූයේය. කුටිය තුළට පිළිපන් තැනැත්තා වූයේ විලියම් ගේ දකුණු අත බඳු වූ මිනිසාය——නමින් ඔහු සෙබැස්ටියන් මොරාන් විය. 


"මේ අවේලාවෙ කතා කළාට සමාවෙන්න, විලියම්."


මොරාන්ගේ ස්වරය එහි සාමාන්‍යයෙන් පවතින ප්‍රාණවත් බවින් හිඟ වූයේය. ඔහු එය සැඟවීමට තැත් කළද ඔහුගේම භාව ප්‍රකාශනය ඔහුට ද්‍රෝහී වූයෙන් යම් නුහුරු බවක ඉංඟිතයක් ඔහු වෙතින් පල විය. ඔහු තමා පසුපසට නෙත් හෙළීය. ඔහුට පිටුපසින්, මෙලොවෙහි විලියම්ට සිටින එකම ලේ ඥාතියා වූ ඔහුගේ බාල සොයුරා, ලුවිස්, මේ හදිසි පැමිණීම පිළිබඳ විස්මයත්, ව්‍යාකූලතාවයත් යන ද්විත්වයම කැටි වූ භාව ප්‍රකාශයකින් යුතුව සිටගෙන බලා සිටියේය. 


මේ දෙදෙනාගේ ආකල්පයන් අතර වූ අසමානතාවය දුටු විලියම්, ලුවිස් දෙස බලා ඉඟි මැරීය. සිය සොයුරාගේ අරමුණ වටහාගත් ලුවිස්, මොරාන්ට සහ විලියම්ට කුටිය තුළ තනිව හිඳින්නට ඉඩ හැර, දොර වසාගෙන නික්ම ගියේය. 


මේ මිනිසාගේ කල්පනාකාරී, කාරුණික ක්‍රියා කලාපය හමුවේ මොරාන්ගේ දෙතොලෙහි වියළි මඳහසක් මතු වූයේය. 


".......ඔබට කරදර කරන්න සිද්ධ වීම ගැන කණගාටුයි."


විලියම් මඳ සිනහවක් පෑවේය. 


"ඒකට කමක් නැහැ. ඔබ ආව කාරණය ඊට වඩා වැදගත් ඇති, ඉතින් අපි ඔබට මොනවද කියන්න තියෙන්නේ කියලා අහලා ඉමු."


"අහ්, ඒක මෙහෙමයි......"


මොරාන් සිය හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවා අවුල් කරගත්තේය. ඔහුගේ බැල්ම සිවිලිම පුරා සැරිසරන්නට විය. 


"අම්, මම මේ දවස් වල නිතරම වගේ යන එන අවන්හලක මේරි කියලා දැරිවියක් ඉන්නවා...ඇය මේ ළඟදි ටිකක් ලොකු පවුලක තරුණයෙක් එක්ක විවාහ ගිවිසගත්තා. කසාදෙට දෑවැද්දක් ඕනෙලු කියලා කෙල්ල ඉන්නෙ ඇඬූ කඳුලෙන්. මට ඕනෙ ඈට උදව් කරන්න, සුළු මුදලකින් හරි. ඒත් මුළු මුදල ලොකු ගාණක්....ඉතින් ඒ නිසයි මං මේ ආවෙ මට ඔබෙන් ඒ ගාණ ණයට ගන්න පුළුවන් වේවිද අහන්න.... පවුම් සීයක් විතර."


".......ඒක සෑහෙන ලොකු මුදලක්නෙ."


සංභ්‍රමයක සියුම් සලකුණක් විලියම්ගේ මඳහස තුළට ඇතුළු විය. 


මොරාන්ගේ පැහැදිලි කිරීමට සවන් දීමෙන් අනතුරුව, සිය මුව මත අතක් තබාගත් විලියම් තත්පර කිහිපයක් කල්පනා කළේය. ඉනික්බිති, කිසිදු කලබලයකින් තොරව සිය අසුනින් නැගී සිට, තමාට වඩා උසින් වැඩි අයෙකු වූ අනෙකාගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියේය. 


"——ඒක නෙවෙයි, ඔබේ වංචාව අහු වෙද්දි, ඔබේ ප්‍රතිවාදියගේ කාඩ් අත විවෘත කරලද තිබුණෙ?" 


"නැහැ, මම මගේ කාඩ් අත පෙන්වපු ගමන්ම ඔහු මට චෝදනා කළා, ඉතින් ඔහුගේ කාඩ් අත විවෘත කරලා තිබුණෙ නැහැ....ඔහොම ඉන්න, හහ්!?" 


මොරාන් තුෂ්නිම්භූත වූයේය. සිදු වූ දෙය අමුතුවෙන් පැවසීම අනවශ්‍යය. විවාහයකට මූල්‍ය ආධාර සැපයීම පිළිබඳ කතාබහක් අතරතුර, අවන්හලෙහි සිදු වූ නියම සිදුවීම විලියම් විසින් විශිෂ්ට ලෙස අනුමාන කර තිබිණි. 


"කො-කොහොමද ඔබ දැනගත්තෙ?"


ඔහු විලියම් ගේ ප්‍රකෘෂ්ට බුද්ධිය ඉතා හොඳින් දැනුවත් වූ නමුදු මොරාන්ට එය නොඅසා සිටිය නොහැකි වූයේය. 


විලියම් සුපැහැදිලි ස්වරයෙන් පිළිතුරු දුන්නේය. 


"ඒක ඉතාම පැහැදිලියි. මුලින්ම, ඔබ මේ තරම් රෑ බෝ වුණු වෙලාවක මාව මුණගැහෙන්න ආව හැටි දැක්කම, කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබට මොනවාහරි හදිසි ගැටලුවක් ඇතිවෙලා කියලා ; ඒත් කලින් ඔබ හැසිරුණු විදිය දැක්කම, හරියට ලුවිස් මේ කතාව අහගෙන ඉන්නවට ඔබේ කැමැත්තක් නැහැ වගේ, මට පෙනුනා ඔබට මේ කාරණය අනිත් අයගෙන් සඟවන්න අවශ්‍ය වෙලා තියෙන බව. ——මේ පවුම් සීයක මුදල ගැන ඔබ කතා කළේ අවංකවම ඉතාම හදිස්සියෙන්, ඉතින් එහෙනම් ඔබට ඇත්තටම මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, ඔබ අද සන්ධ්‍යාවෙ මොකක් නමුත් කරදරයක පැටලිලා මුදල් අවශ්‍ය වෙලායි ඉන්නෙ : අතිශයින් පෞද්ගලික කාරණයක්. රාත්‍රී කාලයේ ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන හිතලා බැලුවාම, ඒකට වෙස්ට් එන්ඩ් අවන්හලේ සම්බන්ධයක් තියෙනවාය කියලා සෑහෙන දුරකට සහතික වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ගාවින් තවමත් මිලෙන් අඩු මත්පැන්වල ගන්ධය එනවා."


එඇසීමෙන් මොරාන් අනිච්ඡානුගවම තම ඇඳුම් ඉව කර බැලීය. විලියම් තවදුරටත් පැහැදිලි කළේය. 


"එහෙනම්, අවන්හලේදී ඇති වෙන්න ඇත්තෙ මොනවගේ ගැටලුවක්ද? ඔබේ චරිත ලක්ෂණත් එක්ක බැලුවාම, එක්කො ඒක කාන්තාවො සම්බන්ධ ගැටලුවක්, එහෙම නැත්නම් සූදුවට සම්බන්ධ ගැටලුවක්. මම මුලින්ම සලකලා බැලුවෙ පළවෙනි කාරණය, ඒත් ඔබ කාන්තාවක් වෙනුවෙන් ඔය තරම් විශාල මුදලක් එකතු කරනවාය කියන එකත් විශ්වාස කරන්න අමාරු දෙයක් කියලයි මට හිතුනෙ. මම දන්න තරමින් නම්, මොරාන්, ඔබ කාන්තාවො ඇසුරු කරන්නෙ කොහොමද කියලා දන්නවා; ඉතින් ඔබ ඇත්තටම තරුණියකගේ විවාහයේ වියදම් කරට ගත්තා වුණත්, ඔබ ඒකට මේ මහ රෑ මුදල් එකතු කරන්න දඟලන්නෙ නැහැ. ඒ නිසා, ඔබ ඒ කලින් කියපු හැම දෙයක්ම සෑහෙන දුර්වල බොරුවක්."


"හහ්, හහා......"


ඒ කටුක වදන් ඔහුට පහර දුන්නේ මෘදු ස්වරයකිනි. මොරාන්ගේ ඇසක් ගැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ මුවින් එක්වරම වියළි සිනහවක් පිටතට පැන්නේය. 


විලියම් තවත් ඉදිරියට පැහැදිලි කළේය. 

"එහෙම නම්, ඉතිරි වෙන එකම පැහැදිලි කිරීම තමයි සූදුව. කාඩ් සෙල්ලම. ඒත් ඔබ එක තරඟ වටයක් පරාද වුණා විතරයි නම්, ඔබට අහිමි වෙන්නෙ ඔබේ අතේ තිබුණු මුදල විතරයි — පවුම් සීයක් ඉල්ලන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. එහෙනම් ඔබට ඒ තරම් මුදලක් සූදානම් කරන්න බල කෙරෙන විදියෙ දෙයක් සිද්ධ වෙන්න ඕන; ඒ නිසා, වඩාත්ම නිරවද්‍ය පැහැදිලි කිරීම වෙන්නෙ, අද සන්ධ්‍යාවෙදි ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රයෝග ටික කවුරුහරි කෙනෙක් හෙළි කරලා තියෙනවා කියන එක——"


"හරි, ඔය ඇති."


මොරාන් යටත් වන බව හඟවමින් දෑත එසවූයෙන් විලියම් තම පැහැදිලි කිරීම අතරමඟ නතර කළේය. 


"ඔබ කිව්වා වගේම මාව වංචා කරද්දි අහුවුණා. ඊටපස්සේ එතන සෑහෙන ලොකු කතාබහක් සිද්ධ වුණා, දැන් මට මම මේ වෙනකං වංචා කරපු මුදල් ඔක්කොම ආපහු ගෙවන්න සිද්ධ වෙලා. අර වගේ අමන බොරුවක් කිව්වට සමාවෙන්න."


"ඒ ගැන වද වෙන්න එපා; ඒත්, මං හිතන්නෙ මට ටිකක් පුදුමත් හිතුනා ඔබ කැමැත්තෙන්ම ඔය මුදල ගෙවන්න එකඟ වුණු එක ගැන."


"මොනවා කරන්නද, අන්තිමේදී මට ලැබෙන්න ඕනෙ දඬුවම ලැබුණා. ඒත් දැනට නම්, මං හිතන්නෙ, කවුරු හරි මගෙ පිටට තට්ටුවක් දාලා ප්‍රශංසා කරන්න ඕනෙ, ඒ යකාට එතනම බිම දාගෙන ගැහුවෙ නැතුවට. මම තනියෙන් ඒ මුදල කොහොම හරි පියවලා දාන්නම්."


මොරාන් තම හිසකෙස් අවුල් කරගත්තේ දෛවයට තමාගේ ඉරණම භාර දී දෑත් පිසදමාගත් අයුරිනි. ඔහු කුටියෙන් පිටව යාමට සැරසුණු නමුත්, විලියම් නැවතත් ඔහු ඇමතුවේය.


"ඔහොම ඉන්න මොරාන්; මම ඒ ගැන තව ටිකක් දැනගන්න කැමතියි."


නැවතත් විලියම් දෙසට හැරුණු ඒ උස් සිරුරැති මිනිසා, ඔහු වෙත පැමිණ, සිය වමත ඔහුගේ උරහිස මත තැබුවේය. 


"——දන්නවද විලියම්, මට තේරෙනවා මම කැමැත්තෙන්ම මුදල් ගෙවන්න එකඟ වීම ගැන ඔබ පුදුම වුණේ ඇයි කියලා. වෙනදා වගේ නම් ඒ කාලකණ්ණි අවජාතකයගෙන් පලිය ඉල්ලගන්න යන පළවෙනි කෙනා මම. ඒත් අද මට හිතුනා, මම එකම එක වතාවකට හරි පරිණත මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕනෙ කියලා. කොහොමත්, හැම ප්‍රශ්නයක්ම ප්‍රචණ්ඩත්වයෙන් විසඳන්න යන එක වනචාරී මිලේච්ඡයන්ගෙ වැඩක්, ඔබ කිව්වා වගේ....."


පෙනෙන අයුරින් මොරාන් ඔහුගේ වචනවල අර්ථය වැරදි ලෙස වටහාගෙන තිබේ. ඔහු හොටයෙන් පිහාටු පිරිමදින පක්ෂියකු මෙන් තමාගේ "පරිණත භාවය" පිළිබඳ තුටු ගී ගයන්නට පටන් ගෙන ඇත්තේ එබැවිනි. විලියම් පීඩිත භාව ප්‍රකාශනයකින් යුතුව එයට බාධා කළේය. 


"නැහැ, ඒ ගැන නෙවෙයි……මම අදහස් කළේ ඔබේ වංචාව හෙළි වුණු විදිය ගැන..." 


"හහ්?" 


මොරාන් තමාගේ නව පරිණත භාවය පිළිබඳ සාකච්ඡා කරන්නට සැරසුණේ අරුම උද්‍යෝගයකිනි; එහෙත් විලියම් විසින් පෙර විමසන ලද පැනය සංශෝධනය කරනු ඇසීමෙන්, ඔහු තම හිස පසෙකට ඇල කළේය. 


අනෙක් තැනැත්තා මොහොතකට නිහඬ වූ බව ස්ථීර කරගත් විලියම්, තවදුරටත් කතා කළේය. 


"මේක කිසිම විදියකින් ආඩම්බර වෙන්න දෙයක් නම් නෙවෙයි, ඒත් ඔබේ වංචා කිරීමේ හැකියාව කිසිම කෙනෙකුට දෙවනි වෙන්නෙ නැති බව අපි හැමෝම හොඳින්ම දන්න කාරණයක්. මට පුදුම වුණේ ඔබේ උපක්‍රමය හෙළි වීම ගැන. ඒ නිසා මට කුතුහලයක් ඇති වුණා ඔබට සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න — ඒක තමයි මම අහන්න උත්සාහ කළේ....."


".................."



මොරාන් සිය "පරිණත ස්වරූපය" පිළිබඳ පුරසාරම් දොඩවමින් සිටියේ කිසිදු පැකිලීමකින් හෝ සැඟවීමකින් තොරවය; තමාට වැරදි වැටහීමක් සිදු වී ඇති බව ඔහුට අවබෝධ වූයේ දැන්ය. හදවතේ ගැඹුරින් වේගයෙන් ඉහළට ගලා ආ විළි ලැජ්ජාව වසා ගනු පිණිස ඔහු තම ලය පුම්බාගත්තේය. 


"හ-හරියටම හරි! ඒක ඇත්ත! ඇත්තටම මම උත්සාහ කළේ ඔබ ඒ නිගමනයට එළඹේවිද කියලා පරීක්ෂා කරන්න තමයි! වැදගත් වෙන්නෙ මම ඒ මිනිහට ගැහුවෙ නැත්තෙ ඇයි කියන එක නෙවෙයි, මගේ උපක්‍රම හෙළි වුණේ කොහොමද කියන එක! ආයෙමත් කියන්නෙ, ඔබත් එක්ක වැඩ කරන්න ලැබීම මට ආඩම්බරයක්!" 


".......හ-හරි. ස්තූතියි."


නිදහසට කාරණා සැපයීමට දැන් පමා වැඩිය. එහෙත් විලියම් ස්වකැමැත්තෙන්ම වැල යන අතට මැස්ස ගැසීය. ඔහුගේ කාරුණික බව මොරාන්ගේ හදවත ස්පර්ශ කළද, ඔහු විලියම්ගේ දෙවුර අල්ලා සෙලවූයේය. 


"ඉතින් මං අර කලින් කියපු පරිණත භාවය ප්‍රදර්ශනය කරන කතා ඔබට අමතක කරලා දාන්න පුළුවන්!" 


"ම-මට තේරුණා, ඉතින්......."


මොරාන් ඒ ලැජ්ජා සහගත මතකයන් අවහිර කිරීමට දැඩි ආයාසයක යෙදී සිටියේය — කෙසේ හෝ ඔහු වළක්වාගන්නට සමත් වූ විලියම් තමා සිටි ඉරියව්ව වඩාත් සෘජු කොටගෙන උගුර පෑදුවේය. 


"——අපි ආයෙමත් ප්‍රධාන මාතෘකාවට එමු නේද?"


එය පවසත්ම ඔහුගේ දෙනෙත කුතුහලයෙන් බැබළිනි. 


"මට කියන්න: අද සන්ධ්‍යාවෙ මොකක්ද සිද්ධ වුණේ?" 


විලියම්ගේ ස්වරය සෞම්‍ය වූ නමුදු ඔහු කෙරෙන් කිසිදු විවාදයකට ඉඩ නොතබන රාජ්‍ය පාලකයකුගේ ලීලාවක් ප්‍රකට වූයේය. 


ඔහුගේ ස්වරය හමුවේ මොරාන්ගේ සිතිවිලිද යුහුසුළුව නැවතත් විෂයගත විය. 


"......ඇත්තටම, එතන කියන්න තරම් කතාන්දරයකුත් නැහැ."


එහෙත් තමා වෙත එක එල්ලේ යොමු වූ, ඒ ලෝහිත වර්ණ බැල්මෙන් පලා යාම අසම්භව්‍ය බව මොරාන්ටද ඉවෙන් මෙන් වටහාගත හැකි වූයේය. දිගු හුස්මක් ඉහළට ගත් ඔහු, පූර්වයේ තමා හට මුහුණ පෑමට සිදුවූ කුඩා සිදුවීම විස්තර කිරීමට සූදානම් විය. 


#NIKE


CHAPTER INDEX

NEXT CHAPTER






Comments

Popular posts from this blog